වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත් , බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් , බියෙන් , චකිතයෙන් සිටින්නෝ වෙති. අපගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.
උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම් , තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී , හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත් , ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් , වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් , ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?
මෙයමයි ගෝතම බුදුන් ;
“අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං“
තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනුවෙන් දේශනා කළේ.
කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා , ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් ; තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?
ඔබ ජීවත් වන්නේ “දැන්“ නොවේද? ඔබ ගන්නා මේ හුස්ම “දැන්“ ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය , නිළය , බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය , තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් , සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් , පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී , ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත්, උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?
අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න , ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.
-අමිල නුවන්-
No comments:
Post a Comment